හිරු නැග දිලෙයි හිස් නිල්වන් අහස අරා

වැලි කැට පවා දවමින් මේ කතර පුරා

පවස නිවන අම දිය බිඳු ලැබෙන තුරා

දිව්වෙමි මමත් දුර ඇති මිරිඟුවක් කරා…

 

වැලි කැට අහුරු රුදු සුළඟට පෙම් බැන්ද

එක්වී දූලි සුළඟේ රඟ දෙනු මන්ද

සැඩ හිරු රැසින් මා සිත ගත දෙක බින්ද

යළි යළි කියයි වේ සැපයක් මර නින්ද…

 

සැඩ හිරු එළිය දුල තරු වියනෙන් බන්දා

දූවිලි සුළඟෙ රෑ සොමි සිසිලස රන්දා

ගිනි ගෙන දැවෙන කතරට සැනසුම කැන්දා

එන තුරු හිඳිමි සඳ පෙරඹර ලෙස නන්දා……

 

හිරු නැග දිලේ රන්වන් පෙරඹර පායා
පිණි බිඳු නටයි තණ මත මවමින් මායා
තුරු පත් ගයයි රඟදී සදමින් ඡායා
හද ගැබ නැගී කිම වැහි අඳුරක සේයා

හිරු බැස යාවි සුපුරුදු අයුරින් පායා
කියමින් සොබා දිවියේ පරදයි මායා
දින ගත වේවි බිඳකුදු නොතබා ඡායා
වැහි කළු තුළින් හිරු ‍යළි නොනැගෙන සේයා….

සුනීතා…

Posted: දෙසැම්බර් 6, 2011 in ජීවිතය...

යුත් නැඹුරු වූ හිසින්
අකුරු ඇහිඳින සියක්
පරිස්සම් වනු පුතුනි!
අල්පෙනෙත්තක් වැටුණා
ඔන්න ඔය මුල්ලටම….

ඉඩ දෙන්න මා පුතුනි!
එය ඇහිඳ ගෙන යන්න,
කුමට රිදවා ගන්නෙ
ඔය සුමුදු සිරිපතුල්?

ඉදිරි මේසය කොනින්
සඳපාන නැගෙනු දැක
සිහිවුනා තරු සිඟිති
අමාවක එළිය දෙන…

කඳුළු කැට බිම වැටී
හැඩි කළා දිදුල බිම
පිස දමමි දැන් හනික
හසුවන්ට පෙර ඉතින්….